වලා­කු­ළු­ව­ල­ටත් ඉහ­ළට තැනෙන ලොව උසම ගොඩ­නැ­ගිල්ල

කොළඹ අහස දැන් ඉස්සරට වඩා ගොඩාක් වෙනස්. ඊට හේතුව තමයි කාලයෙන් කාලයට සෑදෙන අහස සූරන ගොඩනැගිලි. එකිනෙකට වෙනස් විවිධ හැඩයෙන් යුතු මේ ගොඩනැගිලි රටක සංවර්ධනය පෙන්නුම් කරන සාධකයක් ලෙසින්ද සමහරු යොදා ගන්නවා.

ලෝකයේ උසම ගොඩනැගිල්ල සෑදීමට බොහෝ දියුණු රටවල් උනන්දු වන්නේ මේ නිසා විය හැකියි. වර්තමානයේ ලෝකයේ උසම ගොඩනැගිල්ල වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තිබෙන මීටර් 828කින් යුතු ‘බර්ජ් කලීෆා’ නම් ගොඩනැගිල්ලයි.

නුදුරු අනාගතයේදීම මෙම කිරුළ සෞදි අරාබිය වෙත යාමට නියමිතය. ඒ දැනට ඉදිවෙමින් පවතින ‘රාජධානි කුළුණ හෙවත් ජෙඩා කුළුණ’ (Kingdom Tower / Jeddah Tower) සම්පූර්ණයෙන් නිමවූ පසු කිලෝමීටරයක් (අඩි 3300ක්) උසින් යුක්ත වීම නිසායි. මහල් 170කින් යුක්ත වන මෙම නව ගොඩනැගිල්ල ඉදිකිරීම ආරම්භ කර තිබෙන්නේ 2014 වසරේදීය.

වරින් වර ඉදිකිරීමේ කටයුතු අඩාල වූවත් නැවතත් මෙම වසරේදී මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබෙන්නේ ලබන වසර අවසාන වන විට ගොඩනැගිල්ල නිමකිරීමේ බලාපොරොත්තුව ඇතිවයි. මේ වනවිට අඩි 870ක් එනම් මීටර 266ක් උසින් යුතු වන අතර මහල් 66ක් සාදා තිබෙනවා.

වර්ධනය, සෞභාග්‍යය හා කලාපීය වර්ධනය මෙම ගොඩනැගිල්ල තුළින් විදහා දැක්වන බව මෙහි නිර්මාණකරුවන් පවසනවා. කිංඩම් සමාගම හා ජෙඩා ආර්ථික සමාගම විසින් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුදල් යොදවනවා. ආරම්භයේ එය ඇමෙරිකානු ඩොලර් මිලියන 1.2ක මුදලක් වූවත් ඉදිකිරීම් ඇනහිටීම නිසා මෙම අගය ඩොලර් බිලියන 2ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කිංඩම් සමාගමේ අයිතිකරු වන්නේ සෞදි අරාබියේ කෝටිපතියකු වන අල්වලීඩ් බින් තලාල් කුමරුයි. මෙම ගොඩනැගිල්ලේ ප්‍රධාන ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් වන්නේ සෞදි බින්ලාඩින් සමූහ ව්‍යාපාරයයි. මීට වසර 80කට පමණ පෙර මෙම සමාගම ආරම්භකර තිබෙන්නේ කුප්‍රකට අල් කයිඩා නායක ඔසාමා බින්ලාඩන්ගේ පියා විසිනි.

‘Y’ අක්ෂරයක් යටිකුරු කළ විට ලැබෙන හැඩයට සමාන හැඩයකින් යුක්ත මෙම ගොඩනැගිල්ල ඉහළට යනවිට සිහින් වන අයුරින් සාදා තිබෙන්නේ ව්‍යුහය වෙත ලැබෙන බර අඩු කිරීමටයි. පහළ ඉඩකඩින් වැඩි මහල් ප්‍රමාණයක් කාර්යාල සඳහා යොදා ගන්නා අතර ඉන්පසු හෝටල් සඳහා මෙහි ඉඩකඩ වෙන්වනවා. ඉහළම තට්ටු සියය වෙන්වන්නේ පෞද්ගලික නිවාස සඳහායි.

මෙහි ඉහළම මහල් දක්වා ගමන් කරනවිට එක් මහලකට එක් තනි නිවසක් තිබෙන අයුරින් තමයි මෙය නිර්මාණය කරන්නේ. 157 වැනි මහලේ එනම් මීටර් 610ක් උසින් තිබෙන විශාල සඳළුතලය වැනි එළිමහන් කොටස ලොව වඩාත්ම උසින් පිහිටි නිරීක්ෂණ ස්ථානය වීමටත් නියමිතයි.

නුදුරු දිනෙයක මෙම ගොඩනැගිල්ලේ ඉහළම මහලක පිහිටි නිවෙසක පදිංචිවන්නන්ට වලාකුළු වලටත් ඉහළින් ඉන්නට හැකිවේවි. එය සැබැවින්ම සුරංගනා ලොවක සිටිනවා වැනි හැඟීමක් ගෙන දේවි.

No comments

blogspot.okkomaa.com. Powered by Blogger.