කොළඹ රජ­ වුණු අසන් නානාගේ අච්චාරු වට්ටෝ­රුව

2:25:00 AM
කොළඹ නගරයේ පාට පාට ගොඩනැගිලි රාශියකි. ඒ පාට පාට ගොඩනැගිලි අතරේ පාට පාට කෑම ජාති තබාගෙන විකුණන මිනිස්සුද බොහෝයි. එවැනි පිරිසකි අච්චාරු වෙළෙන්දෝ. කොළඹ නගරයේ විවිධ ස්ථානවලදී හමු වී කන අච්චාරු පිටුපස ඇති කතාවයි මේ.

පාසල් දරුවන් විවේකයේදි‘කැන්ටිමට‘ දුවන විට මට මගේ පාසල් කාලය සිහිවේ. ඒ සොදුරු ළමා වියේ අම්මාගෙන් තාත්තාගෙන් ලැබෙන සොච්චම් මුදල රැගෙන අප දිව යන්නේ අච්චාරු වෙළෙන්දිය වෙතය. ඇගේ වට්ටියේ ඇති අඹ, අමු දිවුල්, තම්බපු වෙරළුවලට අපි එකල බෙහෙවින් ප්‍රිය කළෙමු. එදා අච්චාරු තිබුණේ ඒ ඒ පලතුරු කාල වලදි පමණි. ඇතැම් දිනවල ගෙදර ඇඹරැල්ලා ගහේ හොඳින් පැසුණු ගෙඩි කිහිපයකට ලුණු, ගම්මිරිස්, මිරිස් කුඩු දමා තළා රස කර කර කෑවෙමු. දැන් කාලය වෙනස්ය. කුඩා ඉඩම්වල පලතුරු වවන්නට ඉඩක් නැත. පලතුරු තිබුණද අච්චාරු හදන්නට වෙලාවක් නැත. එය එහෙම වුණත් කොළඹ පාරට බැස්ස විට, එහෙමත් නැත්නම් ප්‍රදර්ශන භූමියකට ගිය විට හෝ වෙනත් තැනකදී,විශේෂයෙන්ම කොළඹ කොටුවේ රතු පල්ලිය අසල මාවතේ දී නම් අච්චාරුවක් රස බැලීමේ අවස්ථාව ලැබේ. අව්ව වැස්ස ගාණක් නැතිව තියෙන අච්චාරු ලෑල්ලේ ඕනෑම පලතුරක් ඇත. අඹ, ඇබරැල්ලා, අන්නාසි, දිවුල්, වෙරළුවලට අමතර ව දැන් මේ අච්චාරු ලෑලිවලට ජම්බු, නෙල්ලි, නමිනං, ලොවි ආදි වූ පලතුරු එක් වී ඇත.

අච්චාරු අපේ රටේ කෑමක් නොවේ. එය අපට පිටරැටියන්ගෙන් ලැබුණ කෑමකි.

එනම් දූපතක් වීමේ අතුරු ප්‍රතිඵලයක් ලෙස අපට ඉතිහාසය පුරා වරින් වර එල්ල වූ විදේශ රාජ්‍යයන්ගේ ආක්‍රමණයන්හි ප්‍රතිඵලයකි. එම සෑම ආක්‍රමණයකදීම ඒ ඒ රාජ්‍යයන් අපට පුරුදු කළ හා බලහත්කාරයෙන් අප මත පැටවූ සංස්කෘතික චර්යා රැසක් අද දක්වාම සමාජය තුළ ශේෂව ඇත. එය සංස්කෘතික අධිරාජ්‍යවාදයක් මෙන්ම ඇතැම් විටෙක සංස්කෘතික සංකලනයක් ද වෙයි. සංස්කෘතික සංකලනය වඩාත් හොඳින් පෙන්නුම් කෙරෙන ක්ෂේත්‍ර දෙකක් ලෙස භාෂාව හා ආහාර පෙන්වා දිය හැකිය. ‘අච්චාරු’ එලෙසින් අපේ රටේ සංස්කෘතිය තුළ අපේ ආහාර රටාවට පෘතුගීසින්ගෙන් එකතු වූ ආහාරයකි.

රතට රතේ අච්චාරු ලෑලි වල තියෙන අච්චාරු දුටු ලොකු කුඩා කාටත් කටට කෙළ උනන්නේ නිරන්තරයෙනි. ඉස්සර වගේ වංගෙඩි වළ දමමින් කොටමින් වෙහෙසෙමින් අච්චාරු කන්ට වුවමනා නැත. දැන් වෙළෙඳ පොළේ අච්චාරු ඕනෑ තරම්ය. කොළඹ කොටුවේ දි කාගෙ කාගෙත් ඇහැයන අච්චාරු ලෑලි,කරත්ත කිහිපයක්ම ඇත්තේය. අච්චාරු වෙ‍ළෙඳාම තම ජීවන උපාය කරගත් ඒ තුළින්ම තම ජීවිතය ගැට ගසා ගත් මිනිසකු ගැන අපට අහම්බයෙන් දැන ගන්නට ලැබිණි. නියාස් නම් වූ ඒ මිනිසා සොයා ඉකුත් දිනෙක අපි කොළඹ කොටුවේ පළමුවන,දෙවන,විථි සරන්නට වූයෙමු.

කොළඹ අහස අඳුරු කරගෙන ධාරානිපාත වර්ෂා ඇද හැළෙයි. කොළඹ කොටු‍වේ එහෙ මෙහෙ යන මිනිසුන් නතර කිරීමට ඒ වැස්ස අපොහොසත් ය. යන ගමන පසෙක දමා වැස්සට ඉඩදී පැත්තකට වී සිටීම තේරුමක් නැත. වැස්ස කොයි මොහොතේ නතර වේදැයි කීමට නොහැකිය. එනිසා අතවූ කුඩය ඉහලාගෙන කොටුව දුම්රිය ස්ථානයෙන් එළියට පැමිණියේ හිස පමණක්වත් නොතෙමාගෙන අපේ ගමන යන්නට ය. දෙවන හරස් වීදියට පැමිණෙන විටත් අප හොඳටම තෙත බරිත වී සිටිමු. නමුදු ඒ වැස්සේ ද දෙවන හරස් වීදියේ සුපුරුදු කලබලකාරී බව වෙනදා සේම ය. ඒ කලබලකාර බව මැද්දේ අපි ඔහු සොයන්නට වීමූ. කඩිනමින් එහෙමෙහෙ යන ජනයා අතුරෙන් ඔහු සිටිනා ඉසව්ව සොයා ගැනීම අසීරුය. පාර දිගේ ගලන කළු පැහැ වතුර පාර පුළුවන් තරම් මඟ හරිමින් අපි දෙවන හරස්වීදියේ කෙළවරට පැමිණියෙමු.

පසෙකින් පෙනෙන්නේ රතු පල්ලියයි. රතු පල්ලිය ඉදිරියෙන් මිනිසුන් ඒ මේ අත යන්නේ කලබලයෙනි. රාමසාන් සමය නිසා මේ පෙදෙස තවත් කලබලකාරී වී තිබිණ. කලබලකාරී විදීයේ කෙළවරක නැවතී අප ඔහු සොයන්නට විණි. අවසානයේ ඔහුව දුටුවේය. පාරේ ඈත කෙළවරක කරත්තයක් නවතා‍ගෙන අච්චාරු වෙළදාමේ යෙදෙන ඔහු වටා කිහිප දෙනෙකුම රැදී සිටිති. අපි සෙමෙන් ඔහු සිටින දෙසට ගියෙමු.

“වැස්ස වූණාට මිනිස්සු මගෙ ගාවට එන එක නතර කරන්නේ නැහැ. පොඩ්ඩක් ඉන්න මම මේ අය පිටත් කරලා කතාකරන්නම්”නියාස් අපට පොරොන්දු වූයේය.

නියාස් එක් එක් අයගේ රුචිය පරිදි අච්චාරු ඇසුරුම් වල දමයි. බොහෝ වේලාවක් අප පසෙකට වී සිටියෙමු. නමුදු නියාස්ට විවේකයක් නොලැබෙන හැඩය. අපි ඔහුට ළං වීමූ.

“ඔහොම තමයි හැමදාම. විවේකයක් ලැබෙනවා අඩුයි. පුළුවන් විදිහට අපි කතා කරමු.”

ගැනුම්කරුවන් අස්සෙන් රිංගා ඔහු අසලට සමීප වූ අපට නියාස් කීවේය.

නියාස් අච්චාරු බෙදන අතරේම අප සමඟ ඔහුගේ තොරතුරු පවසයි. එක් දහස් නවසිය හැට නවයේදී උපන් නියාස්ගේ පදිංචිය ග්‍රෑන්ඩ්පාස්වල ය.

“මගේ තාත්තා පිටකොටුවේ පේමන්ට් එකේ කුලී වැඩ කළා. තාත්තා කුලී වැඩ කළාට තාත්තා ඒ ගන්න සොච්චමෙන් අපි කාලා බීලා සතුටින් හිටියා. මෙහෙම ඉන්න අතරේ තමයි තාත්තා එක පාරටම ගෙදර එන්නේ නැතුව ගියා. පස්සේ අම්මා මට කිව්වා පිටකොටුවට ගිහිං තාත්තා ගැන හොයලා බලන්න කියලා. ඒ නවසිය අසූ තුනේ. ඒ කාලේ රටම ගිනි ගන්නව. මං ඉගෙන ගත්තේ අල්නාසි මහ විද්‍යාලයට. රටේ කලබල හින්දා ඒ කාලේ ඉස්කෝලේ වේලාසනින් අරිනවා. එතකොට මං අවුරුදු දොළහක -දහතුනක විතර පුංචි කොල්ලා. තාත්තා ගෙදර එන්නේ නැති හින්දත්, අම්මා නිතර තාත්තව බලලා එන්න කියපු නිසාත් මම තාත්තව හොයා ගෙන පිටකොටුවට එනවා”

තාත්තා නිවෙස අතහැර යෑම නිසා නියාස්ලාගේ පවුලට බොහො ආර්ථික අපහසුතාවලට මුහුණ දෙන්න සිදු විය.

නියාස් කොලු ගැටයාගේ ජීවිතය වෙනස් මඟක යන්නට පටන් ගන්නේ ද තාත්තා සොයා කොටුවට පැමිණි ගමනය.

“තාත්තා හොයා ගෙන කොටුවට ආපු මට හරි අපූරු මිනිසෙක් හම්බ වුණා. ඇත්තම කිව්වොත් ඔහු මිනිස් වෙස් ගත් දෙවියෙක් ලෙසයි මම දකින්නේ. ඔහුගේ නම අසන් ලෙබ්බේ මුදලාලි. ඔහු පෝලියෝ හැදිලා කකුල් දෙකම පණ නැතුව හිටිය කෙනෙක්. නමුත් මම දකින්නේ අසන් මුදලාලිගේ කකුල් දෙක පණනැති වුණාට එයාට තිබුණේ මැජික් අත් දෙකක්. හරියට පිහිය එයාගේ අතේම කොටසක් වගෙයි. ‘අසන් මුදලාලිගේ අතට අඹ ගෙඩියක්-ඇඹරැල්ල ගෙඩියක් අහුවුණාම අපිට පේන්නේ ගෙඩිය අසන් මුදලාලිගේ අත උඩ නටනවා විතරයි. ඉතාම ටික වෙලාවකින් හරි ලස්සනට නූලට ලෙලි ගහපු ගෙඩියක් තමයි දකින්න පුළුවන්. මං ඒ දිහා බලාගෙන ඉන්නේ හරිම පුදුමයෙන්. හරියට වශීවෙලා වගේ. අසන් ලෙබ්බේ අච්චාරු විකුණුවේ රතු පල්ලිය ළඟ. තාත්තව සොයාගන්න දවස ගානේ එනකොට අසන් මුදලාලි මගෙන් ඇහුවා,

“කොල්ලෝ මගේ වැඩවලට උදව් කරන්න එන්න කැමතිද? මං උඹට ගාණක් ගෙවන්නම් කියලා”.

ඔහු මුදලක් ගෙවන්නම් කියපු එක මට ඇහුණේ නැහැ. කොයි තරම් සල්ලි අමාරුකම් තිබුණත්. ඒ වෙනකොට ඉස්කෝලේ ගමනත් එපා වෙලා හිටපු නිසා මම එක පයින් මුදලාලිගේ අදහසට කැමති වුණා. මගේ ඉස්කෝලේ ගමන අතරමඟ නතර වුණේ ඒ විදිහට". ජීවිත පොතේ එක්තරා පරිච්ඡේදයක අවසානයත් තවත් පරිච්ඡේදයක ආරම්භයත් නියාස් පවසන්නෙ එසේය.

“එකදහස් නවසිය අසූ තුනේ ඉදලා එක්දහස් නවසිය අසූ නවය වෙනකං මුදලාලිට අත් උදව් දුන්නා. ඒ ‍රටේ කලබල තිබුණ කාලයක්. කලබල තිබුණත් මේ පැත්තේ දෙවන හරස් වීදියේ ඉඳන් පස්වන හරස් වීදිය වෙනකං මුකුත් කරදරයක් වුණේ නෑ. ඔය අතරේ අසන් මුදලාලි දවසක් මට කිව්වා“කොල්ලෝ උඹ මේ කඩේ බලාගනිං. මං යනවා මඩකලපුවේ මගේ ගමට කියලා”. මම ඔහු නතර කර ගන්න උත්සාහ කළා. නමුත් මුදලාලිව නවත්ත ගන්න බැරි වුණා. ඔහු මඩකලපුවේ ගමට ගියා. මේ වෙනකොට රතු පල්ලිය කියන්නේ මට ගෙදර වගෙ තැනක්. මම හිතා ගත්තා මම කොහොම හරි මේ අච්චාරු ලෑල්ල දියුණු කරනවා කියලා. මිනිස්සු කැමති පිරිසුදුවට තියෙන තැනකින් කෑම කන්න. අසන් මුදලාලි මට හොඳ පුහුණුවක් දීලා තිබුණේ. මම අච්චාරු තට්ටුව පිළිවෙළට පිරිසුදුවට සකස් කෙරුවා. ඉන් පස්සේ හැමදාම අඹයි, ඇබරැල්ලයි විකුණනවා වෙනුවට තව තව පළතුරු වර්ග වලින් අච්චාරු හැදුවා. මුල් කාලේ ගෙඩි සුද්ද කරන එක අච්චාරු හදන එක හැමදේම කළේ පාරේ. ලෑල්ල ටිකෙන් ටික දියුණු වුණා. අයිටම් එකින් එක වැඩි වුණා. දැන් මම වෙරළු -අඹ -ඇඹරැල්ල -දිවුල් සම්බෝල -නෙල්ලි -ජම්බු -පේර - අන්නාසි,අච්චාරු විකුණනවා”.

අතීතයේ ආ ගිය තොරතුරු මෙසේ හාරා බැලූ අප ඉන් අනතුරුව විමසිලිමත් වූයේ වර්තමානයේ ඔහුගේ ව්‍යාපාරය ඇති ස්ථානය පිළිබඳවයි.

“මගේ අච්චාරු කඩේ පිටකොටුවේ විතරක් නෙමෙයි මුළු කොළඹම ප්‍රසිද්ධයි. කොළඹ ඉස්කෝලවල ස්පොර්ට්මීට් වලට, කානිවල්වල, ප්‍රධානපෙළේ සම්මන්ත්‍රණ, උත්සවවලදී අපට එන්න කියලා ආරාධනා තියෙනවා. සමහර ආයතනවල පඩි දවසට අපිට ලොකු ඉල්ලුමක් තියෙනවා“

නියාස් මහතාට සමුදීමෙන් අනතුරුව අපට හමුවූයේ මොහොමඩ් දියාස් ය. ඔහු නියාස් මහතාගේ වැඩිමහල් පුත්‍රයා වන අතර පූර්ණකාලීනව තම පියාගේ ව්‍යාපාරය සමඟ කටයුතු කරන්නෙකි.

“අච්චාරු කියන දේ පොඩි කාලේ ඉඳන්ම අපේ ජීවිතත් එක්ක සමීපයි. රහට පොඩි කාලේ අච්චාරු කෑවට ටික ටික ලොකු වෙන කොට තේරුණා, ඒ රස අච්චාරු පිටි පස්සේ තියෙන්නේ මගෙ තාත්තගේ අම්මගේ දුක කියලා. මම මට තේරෙන කාලේ ඉඳලා ඒ අයට පුළුවන් විදිහටඋදව් කළා. ඉස්කෝලේ ගමන නතර කෙරුවට සම්පූර්ණයෙන්ම අච්චාරු රස්සාවට බැස්සා” දියාස් පවසන්නේ තම පාරිභෝගිකයන්ට අච්චාරු අලෙවි කරන අතරතුරමය.

“අපෙන් අච්චාරු කාපු කෙනෙක් අනිවාර්යෙන් ආයිත් එනවමයි. ඒක අපිට විශ්වාසයි. අපි රස වගේම කොලිටිය ගැන ගොඩක් හිතනවා. හැම පලතුරක්ම ගන්නේ මැනිං මාකට් එකෙන්. හැම පළතුරක්ම කිලෝ විස්ස ගානේ ගන්නවා. අද හදන අච්චාරු අද ඉවරයි. ඒ නිසා හැමදාම දෙන්නේ අලුත් බඩු. මේ පාරේ ගොඩක් ෆැන්සි අයිටම් කඩ තියෙන නිසා ගෑනු අය ගොඩක් එනවා. අනික මේ පල්ලිය. පොඩි ළමයි, ගැබිනි මවුවරු, කපල්ස් තමයි අපෙන් ගොඩක්ම අච්චාරු ගන්නේ. අපි මේවට විනාකිරි, අබ වගේ දේවල් දාන්නේ නෑ. මොකද ඒවා ගැබිනි අම්මලට හොඳ නෑ. බොක්ස් එකේ දාලා ලස්සනට දෙන නිසා කස්ටමස්ලා කැමතියි” දියාස් කියයි.

නියාස් මහතා තම වැඩි මහලු පුත්‍රයා සමඟ රතු පල්ලිය අසල අච්චාරු වෙළෙඳාමේ යෙදෙන අතර කාන් ඔරලෝසු කණුව අසල කොට්ටන් ගස යට ඇති අනෙක් තට්ටුවේ වෙළෙඳම් කරන්නේ මොහොමඩ් දිස්ටි ය. ඔහු සමඟ කතා බහේදී අපට අවබෝධ වුයේ ඔහුද නියාස් මහතාගේ මස්සිනා කෙනකු බව ය.

“මගේ නංගිව තමයි නියාස් බැඳලා ඉන්නේ. එක එක කුලී වැඩ කර කර හිටියේ. දැන් මමත් අච්චාරු විකුණනවා. මම අච්චාරු දාපු කරත්තේ තල්ලු කරගෙන කොච්චි කඩේ වගේ පැතිවලට යනවා. මහන්සි වුණොත් තමයි සල්ලි හම්බෙන්නේ. නිකං සල්ලි ඉල්ලුවට කව්රුත් දෙන්නේ නෑනේ. මං දවසට රුපියල් එක්දහස පන්සියයක් හම්බකරනවා.”

මොහොමඩ් රිස්වාන්, නියාස්ගේ බාල පුත්‍රයාය. කාන් ඔරලෝසු කණුව අසල වෙ‍ෙළඳාම් කරන ඔහු පවසන්නේ මෙවන් අදහසකි.

“තාත්තා අපිට පාරක් කපලා දීලා තියෙනවා. අපි සහෝදරයෝ හැමෝටම ජීවත් වෙන්න රැකියා අවස්ථාවන් හදලා දීලා තියෙනවා. අද තරුණ අයට රැකියාව ප්‍රශ්නයක්. ඒ අතින් අපි වාසනාවන්තයි."

පැණි පාරේ සීතල වන්නියට

2:22:00 AM

මී පැණි පෝෂණ ගුණයෙන් හා මධුර රසයෙන් යුක්ත බව ආදිවාසීහු අත්දැකීමෙන්ම දනිති. මී පැණි හා වැදි ජන ජීවිතය කෙසේ සම්බන්ධව තිබේද යත් මියැදෙමින් සිටින ආදිවාසියකුට වුව අවසාන භෝජනය හැටියට ලබා දෙන්නේ මී පැණිය. මේ මී පැණි සොයා වනවදින ආදීවාසීන් සමඟ සිළුමිණ කළ චාරිකාවක වතගොත ය.

ඉර අවරට යමින් තිබුණෙන් අපි නැවත ගම්පියස කරා ගමන් ඇරඹුවෙමු. අතරමඟදී සැන්දෑයාමයේ දිය ඇදුමේ යන ‍බිඟුන් පිරිසක් දැකගත හැකිවිය. ඔවුන්ට අප ගැන අහිතක් නැත. බලාපොරොත්තු සපිරි ගමනකින් පසු ආපසු දඹාන පෝරුගම් පොජ්ජ කරා මංගච්චන විට අතරමඟදී වැස්සකට අපි කොටු වූයෙමු. නගරයේ උදවියට නම් වැස්ස අමිහිරි අත්දැකීමකි. එහෙත් වන්නිලැත්තන් වර්ෂාව පිළිගන්නේ වැදි ගීයකට අනුව සාමූහික නර්තනයක යෙදෙමිනි. එය සැබෑම සාජ්ජයකි.

තුරු ගොමුවෙන් ගැවසීගත් වන පියස නොයෙක් වනමලින් බරව ඇත. පිපි කුසුමෙන් විසිතුරු කළ ඇතැම් රුක් මුඳුනක් සරණ මංගල්‍යයට සැරසුණු ඉංග්‍රීසි කුමරියගේ කඩාහැලෙන වේල්පටක් මෙනි. වන ගැබ මතු කරන මේ දසුන හා කුරුලු කූජනය එකම සංධ්වනියක් ලෙස ඒකාත්මිකව වෙමින් ඇත. මේ සියල්ල අතර අපේ සවන්පත් යොමුව ඇත්තේ මන්ද ස්වරයකින් ඈතින් ඇසෙන ‘ගුමු... ගුමු...” නාදය වෙත ය.

‘කැලෑ පොජ්ජේ තියෙන රුවතන මොන එකවත් කොදොයි' සුදු බණ්ඩියා නිහැඬියාව බිඳිමින් වැදි බසින් පවසා සිටියේ “කැලේ ඇති ලස්සන වෙන කොතැනකවත් නැති” බවය. අපිද ඔහුගේ කීම අනුමත කළෙමු.

ඉරමුදුන් යාමයට තව ඉතිරිව ඇත්තේ දෙපැයක් පමණි. මේ මී මැස්සන් ‘මල් ඇදුමේ යන’ හෝරාවය. මල් ඇදුමේ යෑම යනුවෙන් බින්තැන්නේ ඇත්තන් හඳුන්වනු ලබන්නේ බිඟුන් මල් රොන් සොයා පියාසැරියේ යෙදීමය. පැණි පිරුණු මී වද ඇති තැන් සොයා ගැනීමට නම් අපද උන්පිරිවර හා එක්විය යුතුය. නැතහොත් මීමැස්සන් සමඟ පැණි පාරේ ගමන් කළ යුතුය. සියල්ලට පෙර කළයුතු කාරියක් ඇත. ඒ බිඟුන් ගැවසෙන ඉසව්වක් සොයා ගැනීමය.

බිඟු සම්පත ඇති ජනපද සොයා යෑම පැණිමෙන් රස දනවන කටයුත්තක් නොවේ. වන අඩවිය තුළ ගමන කොහොමත් දුක් ගැහැට, අතුරු අන්තරා සුලබ වූවකි. එකිනෙකා පරදවමින් විටින්විට ඇසෙන සතුන්ගේ නාද අපූර්ව ලෝකයකට අප කැඳවාගෙන යන්නේ බියමුසු චමත්කාරයක් සිතෙහි ඇති කරමිනි.

වන අඩවියට ඇතුළුවීමට පෙර අප කොළ අත්තක් එල්ලා කළු බණ්ඩාර දෙවියන්ගේ පිහිටාධාරය බලාපොරොත්තු වූයේ එවැනි අතුරු ආන්ත්‍රාවකින් වැළකීම සඳහා ය. ඒ යාදීන්න තුළ පැණි ඇති ඉසව් පෙන්වන්නැයි දෙවියන් වෙත කෙරෙන ඉල්ලීමක් විය.

දඹාන, කොටබකිණිය, පෝරුගම් පොජ්ජේ සිට හෝරාවක පමණ ගමනකින් පසු අපි මාදුරුඔය වන අඩවියේ ඈත ඉසව්වකට පැමිණියෙමු. වර්තමානයේ මේ වන පියස රක්ෂිතයක් වුවත් අතීතයේ එය වැදි රටේ කොටසකි. සීත වන්නි‍ය තුළ ගමනේදී ඇතිවන බියජනක බව මදක් අඩු කළේ මෙම වන රොද හොඳ හැටි හුරුපුරුදු වැදි රැහේ නාම්බන් කිහිපදෙනෙක් ද කණ්ඩායමට අයත්ව සිටීම නිසාය.

ආදිවාසි නායක ඌරුවරිගයේ වන්නිලැත්තන් ගමනාරම්භයට පෙර වනයෙහි සැරිසැරිය යුතු ආකාරය ගැන අපට මෙසේ උපදෙස් දුන්නේය.

“වන පොජ්ජට ඇතුළු වන කවුරුත් වැදිකමට වන වදින විත්තිය හිත්ලාන්ට ඕනේ”

කැලෑව තුළ ගමන ගෝමරා ඇත්තන්ට හොඳින් හුරු පුරුදුය. ඔහු මැදි වයසේ අපර කොටසට පිවිස ඇති ‍අයෙකි. ඔහුට කැලේ ගහකොළ පමණක් නොව සතා සිව්පාවාද හොඳහැටි අවනත ය. මලාලීය (දුන්න) හා මෝරියං කැච්ච (ඊතලය) අතින් ගත් ගෝමරා ඇත්තන් ගමන් කළේ අනතුරක් හෝ ගොදුරක් ඇස ගැටෙන ඕනෑම මොහොතක දුනු දිය මුදාහැරීමට සූදානම්ව ය.

කුඩා කළුගල් පව්වක් මත මඳ වේලාවක් ගිමන් හැරි අපි නැවත ගමන් ඇරඹුවෙමු. මෙවර ඉදිරියෙන් ගමන් කළේ ගෝමරා ඇත්තන්ය. ඔහු ගහකොළ අතුපතර අතරින් සිය සිරුර ගෙන යන්නේ මැටි පිඬක් සකපෝරුවට ඇවැසි ලෙස හසුරුවන්නාක් මෙනි. සුදුබණ්ඩියා, යකඩයා, කළුවා ඇතුළු වැදි පිරිස ඔහු අනුව ඉදිරියට ගමන් කරන්නට වූයේය.

තවත් නොබෝ දුරක් ගමන් කරනවිට ඇසෙන්නට වූයේ කිසියම් සියුම් හඬකි. හොඳින් සුසර කළ කන් ඇති වැදි සනුහරේ ඇත්තන්ට අත්තක් බි‍ඳෙන හඬ වුවද වහා හඳුනාගත හැකිය. ඒ හ‍ඬෙහි අරුත වටහා ගත් ඔවුන් එයට පිළිතුරු දුන්නේද තවත් එවැනිම හඬක් නැංවීමෙනි.

‘ටික් මැරිල්ල’ නමින් වැද්දන් මේ නාදය හඳුන්වයි. එවැනි සංඥාවක් ඔවුන් යොදා ගනු ලබන්නේ පිරිසෙන් මඟහැරුණු අයෙක් අන් අයට ඒ බව දැන්වීම සඳහා ය. අප පිරිසෙන් මඟහැරී ගොස් සිටියේ පොරෝමලැන්තෝය. ඔහු ආපසු පැමිණියේ හිස් අතින් නොවේ. කදාර්නිගේ දියතන ඇති ඉසව්වක් ගැන හෝඩුවාවක් ද රැගෙනය.

පැණි පා‍රේ ඉව කරමින් යන අපට වැදි සංස්කෘතිය තුළ මී මැස්සන්ට දක්වන සුවිශේෂ බැඳීම මොනවට පැහැදිලි විය. එය මී වදයක් මෙන් පිරුණු ආදරයකි. ඔවුන් මී මැස්සා අමතන්නේ ‘කදාර්නී’ යන ඇමතුම් නා‍මයෙනි. ‘සුවඳ උරා ගෙන යන්නා’ එහි තේරුමයි. මෙයට අමතරව ‘මැසි කෙල්ලන්’ යන ආදර නාමයෙන්ද වැද්දෝ බිඟු රෑන හඳුන්වති. ඊට අමතරව ගස්වල, ගල්වල මී බැඳීමේ ලක්ෂණය සලකා මී මැස්සන් ‘ගග්ගුල්ලි’ යනුවෙන්ද හඳුන්වයි.

පොරමලා දැක්වූ දිශාව දෙසට ගමන් කරන්නට වූ අපිට මී මැස්සන් කිහිප දෙනෙක් ගුමුගුමු නද පතුරවමින් වට කිහිපයක් සැරි සරන අයුරු දැක ගත හැකිවිය.

කළුවා ඇත්තන් ඔවුන් ගමන් කරන වට ගණන ගනින්ට වූයේය. අනුව හා උස අනුව මී වදය ඇති ස්ථානය පිළිබඳ අනුමාන අදහසක් අනිත් අයට ඉදිරිපත් කළේය. “මේ මල් ඇදුමේ මේ යන මී මැසි රෑනක් නෙවෙයි” ඔහු වැදි බසින් කී දෙයෙහි අරුත තවකෙක් වටහා දුන්නේය. කළුවාගේ අදහසට මී පැණි සෙවීමෙහි අත්දැකීම් බහුල ගෝමරා එකඟ නැත.

ඔහු නිශ්චිතවම කියා සිටියේ මේ මැස්සන් ගමන් කරන්නේ මල් රොන් සොයා බවය. අනෙක් අයද ගෝමරාගේ අදහස පිළිගන්නේය.

මල් රොන් මෙන් ජලය ද මී වදයකට අවැසිය. මී මැස්සන් ජලය එක් රැස්කරනු ලබන්නේ මී ඉටි සකස් කිරීමට ජලය වුවමනා නිසාය.

මී මැස්සකු, දෙන්නකු දැකගත හැකිවූ විට ඉතිරි පිරිස පියඹායන දිශාව සොයා ගැනීම අපහසු නැත. එයට හේතුව මී මැස්සන් වදයෙන් පිටතට යෑම මෙන්ම ආපසු වදයට පිවිසීම බොහෝවිට සාමූහිකව සිදු කිරීමය.

මද වේලාවක් යනවිට අප බලාපොරොත්තු වූ සුබ ලකුණ දැකගත හැකිවිය.

එම පෙර නිමිත්ත ගමනේ සාර්ථකත්වය කියාපාන්නකි.

“ඒකයි බොටා මේක පැණි බැහැපු මී වදයක්” යකඩයා අනෙක් පිරිස් අමතා කීය. යකඩයා සුදු බණ්ඩිලැත්තන් හඳුන්වන අන්වර්ථ නාමයයි. වැද්දෝ ඔවුන්ගේ සනුහරේ කාගේත් නම අගට ‘ඇත්තෝ’ යන පදය එකතු කර භාවිත කරති. පොදුවේ වැද්දන් හඳුන්වන නාමය වන්නේ ‘වන්නිලැත්තන්’ යන නමය. එය සමහරවිට පුද්ගල නාමයක් ද විය හැකිය. ආදිවාසි නායක ඌරුවරි‍ගයේ වන්නිලැත්තන්ගේ නම එවැන්නකි.

මැහි කෙල්ලන් පසුපස ගිය අපට පොළොව බදාගෙන සිටින මහා රුකක් දැකගත හැකිවිය. දිරා යමින් තිබූ මේ ගසෙහි වූ බෙනය මී මැසි රාජ්‍යය පිහිටි ස්ථානය බව කාටත් අවබෝධ විය. කඳ බොහෝ සෙයින් දිරා ගිය එකක් වූයෙන්, එහි පොත්ත ගලවා අතක් දැමිය හැකි වනසේ විවරය මදක් පුළුල් කිරීමට කළුවා සමත්විය.

කළුවා බෙනයට අත පොවා හිත් සෝදිසියෙන් අත ඒ මේ අත ගෙන යයි. ඔහු බෙනයේ ඇති වද අතරින් පැණි ඇති වද තේරීමක යෙදෙයි. අතීතයේ ඔවුන් පිලවුන් ආහාරයට ගත්තද දැන් ඔවුන් ප්‍රමුඛත්වය දෙන්නේ බිඟු සම්පත සුරැකීමටය. වැරැදීමකින් පිලව් වදයක් කැඩුණොත් හැර ඔවුන් පිලා වද කැඩීමට උනන්දුවක් දක්වන්නේ නැත.

වැද්දන් හා මී මැස්සන් අතර ඇත්තේ පුදුමාකාර සම්බන්ධතාවකි. ඒ නිසා ඔවුන් මී මැස්සන් එළවා දැමීමට දුම් ඇල්ලීමක් කළේ ද නැත. ඒ වෙනුවට ඔවුන් මී වදය දුටු විගස සිදුකළ කාර්ය වූයේ කළුබණ්ඩාර දෙවියන් සිහිපත් කිරීමය.

ඉන්පසු ගෝමරා ඇත්තන් අසලවූ පැඟිරි ගහසකින් අත්තක් කඩාගෙන එහි‍ කොළ පොඩිකර මී වදය දෙසට හරවා පිම්ඹේය. පැඟිරි සුවඳ මී මැස්සන්ට ඔරොත්තු දිය නොහැකිවා විය යුතුය. ඔවුන් මී වදය අතහැර වෙනත් දෙසකට පියඹා යන්නට වූයේ ඒනිසාය.

මී පැණි පිරුණු වද එකින් එක කඩන්නට වූ කළුවා ඒවා ගෝමරා ඇත්තන් අතට පත් කළේය. ඔහු ඒවා එකින් එක පැණි තලියේ තැන්පත් කරන්න වූයේය. සුදහ ගින්දර කෙතරම් අධික වුවත් මීයක් කඩාගත් විගස ආහාරයට ගැනීම වැද්දන්ගේ සිරිත නොවේ. මීය දැක ගැනීමට තමනට උපකාර කළ නෑ යකුත් සිහිපත් කිරීම ඔවුන්ගේ චාරිත්‍රයකි.

ඔවුන් දොළ පාර පිහිටි දෙසට ගමන් කරන්නට වූයේ ඒ සඳහාය. ඉන්පසු ඔවුන් අතින් වළක් හාරන්නට පටන් ගත්තේය. එය ඔවුන් හඳුන්වන්නේ 'පූවළ' නමිනි. පූවළක් කණිනු ලබන්නේ බීමට අවැසි ජලය සපයා ගැනීම සඳහා ය. මේ සූදානම මී වදය දෙවියන්ට පුද කිරීම සඳහා ය.

අසල ගසකින් අත්තක් කඩාගත් පොරමොලා ඒ මත මීවදය තබා යාතිකාවක් කියන්නට වූයේය. යාතිකාව අවසානයේ මී වදයේ කොටසක් කඩා පූජා කර, මීය දැක ගැනීමට උපකාර කළ කළු බණ්ඩාර දෙවියන්, ඉදිගොල්ලේ යක්කු ආදී සිය සනුහරේ උදවිය සිහි කළේය. ආහාරයට ගනු ලැබුවේ ඉන්පසුවය.

මේ වනවිට ගමනට සහභාගිවූ කවුරුත් නෑඹුල් මීයක රසබලා ඇත. මී පැණිවල රසෙහි ස්වරූප පිළිබඳ ගැටලුවක් අප සිත තුළ ඇති වූයේ ඒ නිසාය.

කැලේ එක එක ගස්වල මල් පිපෙන්නේ එක එක කාලෙට. අවුරුද්ද මුළුල්ලේම මල් සම්පත දෙන ගස් ද නැතුවා නොවේ. මී මැස්සන් වැඩිපුරම රොන් උරා ගනු ලබන්නේ වරා, මොර, වහමල වැනි ගස්වල පුෂ්පයන් ගෙනි. මොර මල් වැඩිපුර පිපෙන කා‍ලයක මී පැණිවල රසද මොර වලට ආවේණික රස මෙන්ම ගුණයද ඇත.

දඹානේ මී පැණි බෝතල බාගයක් මිල කරනු ලබන්නේ රුපියල් දහසකටය. එය මිල වැඩි බවට ඔවුන්ගෙන් මී පැණි ලබා ගැනීමට පැමිණෙන සමහරු හෙට්ටු කරති. ගෘහ ආශ්‍රිතව ඇති කරන මී මැස්සන්ගෙන් ලබාගන්නා මී පැණි මෙයට වඩා මිල අඩුය යන්න ඔවුන්ගේ මැසිවිල්ලකි. එවිට සුදු බණ්ඩියා ඇත්තන් පිළිතුරු දුන්නේ මෙසේය.

“ගෙවල්වල පෙට්ටිවල හදන මී වදවල වගේ නෙවෙයි. කැලේ හැමදාම පැණි ලැබෙන්නේ නැහැ. නමුත් කැලේ තියෙන කොයි ගහත් බෙහෙත්. ඒ නිසා මේ මී පැණිවල ඖෂධීය ගුණය යහමින් තිබෙනවා.”

වනයෙහි දක්නට ලැබෙන මී වදවලින් පැණි ලබාගත හැක්කේ වසරකට අවස්ථා තුනකදී පමණි. පැණි ලැබීමද ඒකාකාර නැත. මල් වැඩිපුර පිපෙන නිකිණි මාසයේ පැණි බහුල වූවත් වෙසක්, පොසොන් මාසවල පැණි ලැබෙන්නේ අඩුවෙනි. වෙනදාට මීයකින් බෝතල් 7, 12 අතර ප්‍රමාණයක් ලබාගත හැකි වුවත් දැන් එක් වදයකින් ලැබෙන්නේ බෝතල් බාගයක් පමණි. 

සුව සේ නිදන්න සතු­න්ටත් ඉඩක්

2:20:00 AM

ස්ථානය මට්ටක්කුලියේ කාක දූවයි. මට්ටක්කුලියේ කාක දූව ගැන කලක් මිනිසුන් කතා කළේ භීතියෙනි. ඒ ‍රීටා ජෝන් ඝාතන සිදුවීමත් සමඟය. කලක් මිනිස්සු කාක දූව කියන නමට ද බියවී සිටියහ. නමුදු දැන් තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් ය.අද කාක දුව වෙරළ තීරය බෙහෙවින් සුන්දරය.

මේ කතා කරන්නට සුදානම් වන්නේ ඒ සුන්දර වෙරළ තීරය පිළිබද නොවේ. කාක දූපතේ ඇති මේ කියන්නට යන කතාව ඔබ ඇතැම් විට දන්නවා ද නොදන්නවා ද වන්නට ඇත. එය හරි අපුරු කතාවකි. එනම් ‘සුරතල් සත්ව සුසානභූමිය’යි. මෙය අපට නුහුරු අත්දැකීමකි. අප රටෙහි අප සංස්කෘතියට නුහුරු අත්දැකීමකි.මේ සුරතල් සත්ව සුසාන භූමිය පිළිබඳ කතා කරන්නට අප එක්කර ගත්තේ වෙරළ උද්‍යාන කළමනාකරණ සමිතියේ හිටපු සභාපති බර්ට්‍රම් මාස් මහතා ය.

“කාක දූව වෙරළ උද්‍යාන කළමනාකරණ සමිතිය ආරම්භ කරන ලද්දේ දෙදහස් දහය වසරේදීය. කලකට පෙර වල් බිහි වුණු මේ වෙරළ ප්‍ර‍දේශය අද සැබැවින්ම සොඳුරුය. ඒ වගේම විවිධ අපරාධ -අපචාරවලට නම ගිය ප්‍රදේශයක්. පස්සේ ලෝක බැංකුවේ ආධාර ඇතුව මේ ප්‍රදේශය සංවර්ධනය කෙරුණා.බල්ලන් ප්‍රධාන කරගෙන සුරතල් සතුන්ට සොහොනක් හදන අපි කිහිප දෙනෙක්ට ආපු අදහසක්.

ඉස්සර බල්ලෙක් මැරුණම බීච් එකට ගෙනත් දානවා.නැත්තන් බීච් එක අයිනේ ගැඹුරට වළක් හාරන්නේ නැතුව වළදානවා. කලකට පෙර මේ ප්‍රදේශයේ සෑහෙන්න ඌරෝ හිටියා. ගැඹුරට වළවල් හාරන්නේ නැතිව මියගිය බල්ලන්ව වළදමනවා.ඌරෝ මේ වළවල් හාරලා මළකුණු උඩ දානවා. මුළු පළාතම ගඳයි. ඒක පරිසර දූෂණයක්. අනෙක් කාරණය ඒක මැරුණ සතාටත් අගෞරවයක්.

උගේ ආත්මෙට නින්දාවක්. මට ලොකු කණගාටුවක් ඇති වුණා. උන් සත්තු වුණාට ඒ අය අපිට හරි හිතවත්. අපේ යාළුවෝ. එහෙම ඉන්න සුරතල් සතුන් මිය ගියාම ඒ අය ගෞරවාන්විතව භූමිදානය කරන්න තැනක් නෑ. අපි ඒ අඩුව පිරෙව්වා. ඒකෙන් ප්‍රයෝජන දෙකක් වුණා. එකක් පරිසර දූෂණය. අනෙක් එක මිනිහෙක් විදිහට අපිට තියෙන හෘදය සාක්ෂිය.

අපේ සුරතලාට අවසන් යුතුකම කළා කියන ආත්ම තෘප්තිය ඇතිවෙනවා.” මිනිසකුටවත් සතෙකුට තරම් නොසලකන, ගෞරව නොකරන සමාජයක මෙවැනි මිනිසුන් ද සිටින බවට කදිම නිදසුනකි, මාස් මහතා.

හෙක්ටයාර 7.8 ක් පුරා ව්‍යප්තව ඇති දකුණු ආසියාවේ විශාලතම වෙරළ උද්‍යානය වන කාක දූව භූමිය තුළ පිහිටි ඍජුකෝණාස්‍රකාර කුඩා භූමි තීරුව “බලු සොහොන” යනුවෙන් නම් කොට මියගිය සුරතල් සතුන් මිහිදන් කිරීම සඳහා වෙන් කොට ඇත. කුඩා ස්තම්භ පීඨිකාවක් මත සුරතල් සුනඛයකුගේ මැටි ප්‍රතිමාවක් නගා ඇති අතර, ඊට සමීපයේ මෙවැනි පෝස්ටරයක් පින්තාරු කොට ඇත.

“සුරතලුනි, නුඹලා අපගේ මිතුරන් විය. නුඹලාගේ ආත්මයට ශාන්තියක්ම වේවා” ශ්‍රී ලංකාවේ ඇති ප්‍රථම හා එකම සුරතල් සත්ව සුසාන භූමිය පිළිබඳ අප නොයෙක් ‍කතා අසා තිබිණි. ඒ පිළිබඳ අප නිසි ලෙස දැනුවත් කෙරුවේ සත්ව සුසානයක් බිහිකිරීමේ ක්‍රියාවලියේදී සක්‍රියව දායක වූ ගාමිණී හේවගේ මහතාය.

“අපිත් එක්ක එකට දීර්ඝ කාලයක් හිටපු නෑයෙක්-මිත්‍රයෙක් මිය ගියාම අපිට කොච්චර දුකක් වේදනාවක් එනවාද? අපේම ගෙදර -අපේම නෑයෙක්, යාළුවෙක් වගේ කාලයක් තිස්සේ හැදුනු සුරතලෙක් මිය ගියාමත් ලොකු වේදනාවක් එනවා.

ඒක සත්තු හදන ඕනෑම කෙනෙක් දන්න දෙයක්. ඒ දුක ටිකක් හරි සටහන් වෙනවා අපිට ඒ සතාට ගෞරවාන්විත අවසන් කටයුත්තක් කරගන්න ලැබුණොත්. මේක අපි පටන් ගත්තේ ඒ අදහස ඇතිව” ඔහු කියයි.

මෙය කියවා ගෙන යන ඔබට ඇති විය හැකි සාධාරණ පැනයක් ඇත. ඔව්. ඒ පැනය අපට ද ඇති විය. එනම්, අපගේ සුරතලකු මිය ගියහොත් මෙතැනට ගෙන ආ හැකි ද? යන්නයි. අපි එම පැනය ගාමිණී මහතාගෙන් විමසුවෙමු.

“ඔව්, සැබවින්ම පුළුවන්. මේක විවෘත අවකාශයක්. රාජගිරිය - වත්තල වගේ ප්‍රදේශවල ඉඳලත් ස්වාමියන් එයාලගේ මිය ගිය සුරතල් සුනඛයන්ව මෙතෙන්ට ගෙනත් භූමදානය කරලා තියෙනවා. කිසිදු අය කිරීමක් කරන්නේ නෑ. අවශ්‍ය වෙන්නේ ඔබ ඔබේ සුරතලා එක්ක තියෙන මානුෂීය බැඳියාව පමණයි” යන්න ඔහුගේ පිළිතුරයි.

ධනවාදී අර්ථ ක්‍රමය විසින් මිනිසා අධි ධාවනකාරී තරග බිමක ධාවකයකු බවට පත් කොට හමාරය. මේ තරගය තුළ මිනිසා වෙළෙඳපොළ ඉලක්ක කොට ගනිමින් අනවරත ධාවනයක යෙදෙන අතර, කරුණාව -දයාව -රසවින්දනය -මිනිසත්බව ආදී පුරුෂාර්ථ රැසක් මිනිසාගෙන් ගිලිහී ගොස් ඇත.

මෙවැනි සමාජ කතිකාවක් තුළ ගාමිණී මහතා ඉහතින් ප්‍රකාශ කළ සුරතල් සතා සමඟ ඇති මානුෂීය ගනුදෙනුව විහිළුවක් විය හැකිය. එහෙත් මේ සත්ව සුසාන භූමිය කුණු වූ සමාජයක් තුළ වුව, මානුෂීය මුල් වියළී නොගිය බවට කදිම නිදසුනකි.

අංගම්පොර සටන් කලාව

2:17:00 AM



අතීතයේ කතරගම මහාසෙන් නමින් රණශූරයෙක් වාසය කළ බව ඉතිහාසයේ සඳහන් ය. රණශූරත්වය මත මරණින් පසු ඔහු දේවත්වයට පත්ව කතරගම දෙවියන් නමින් ප්‍රසිද්ධ විය. පසුකාලීනව මේ කතරගම දෙවියන් අසුරයන් හා යුද්ධයකට මැදිවිය. එහිදී කතරගම දෙවියන් භාවිතා කළ යුද ක්‍රමය වුයේ අංගම්පොරයි. මේ ආකාරයට බොහෝ අතීත රණ ශුරයන් අනුගමනය කළ අංගම්පොර ශිල්පය වසර 33000 කට වැඩි අතීත කාල පරාසයන් දක්වා දිව යයි. රාවණා රජු ද රාමා සමඟ යුද්ධයේ දී අංගම් පොර ශිල්පය යොදාගත් බව ජනප්‍රවාදගතව ඇත.

කෝට්ටේ රාජධානියට පෙර ගම්පොළ රාජධානිය සමයේ අලකේෂ්වර නම් ව්‍යාපාරිකයෙක් විය. ඔහු දක්ෂ අංගම් ශිල්පියකි. අංගම් සටන් කලාව සම්බන්ධව ගම්පොළ විසූ පණ්ඩිත වරසම්බෝධි හිමි විසින් ඇම්.සි. රඝවන් මහතා දෙන ලද පැරැණි සිංහල කවියක මෙසේ සඳහන් කර ඇත. අලකේෂ්වර නම් ශිල්පියාගෙන් කෝට්ටේ රාජධානියට සපැමිණි බව ඉන් කියැවේ.

මෙසේ ශතවර්ෂ ගණනාවන් හෙළ දිව අසහාය රණශූරයෝ බිහිකළ අංගම් ශිල්පය විවිධාගමන හා කුවේණිගේ පාවාදීමෙන් අනතුරුව සී.සී. කඩව විසිර ගියහ. කෝට්ටේ සහ සිතාවක හේවාගම් කෝරළය තුළ කොරතොට රජ මහා විහාරය කේන්ද්‍රකොට ගෙන මෙම සටන් ශිල්පය රහසිගත ව පවත්වාගෙන යෑමට ඉතිරි වූ ගෝත්‍රික නායකන් සමත් වූ බව කියැවේ. මෙරට අංගම් මඩු, ඉලංගම් මඩු යෞවන යෞවනියන්ගෙන් පිරි ගිය යුගයක් තිබිණ. රෝබට් නොක්ස්, ක්වේරොස්, ජුගන් හැන්ඩර්්‍යන් වැනි විදේශීය ඉතිහාඥයන් සිය ග්‍රන්ථවල පැහැදිලිව ඒ බව සටහන් කර ඇත. සුදලිය හා මරුවල්ලියගේ සටන් අභ්‍යාස විද්‍යාල සිංහලේ අවසන් රජුගේ යුගය දක්වාම පැවැති බව මේජර් ඩේව් සිය ග්‍රන්ථයේ සඳහන් කරයි.

අංගම් පොර සටන් හදාරණ රණකාමීන් තුළ දැඩි විනයක් ද නිතීගරුක බවක් ද පවතී. අංගම් හරඹයේ ගැට පොරා නිලා නක්ෂත්‍රය, වෙදකම මන්ත්‍රශෘස්ත්‍රය යන සම්පුර්ණ විෂය කොටස් හයකින් යුක්තය. අංගම් සටන් ශිල්පයට අවතිරණ වන ආධුනික ශිල්පියකු සටන් හරඹය ආරම්භයේදීම සටනට අධිපති දෙවිවරුන් හා අඩවියට අධිපති දෙවිවරුන්ගෙන් අවසර පතා සටනට උරුම කම් කියා වියෝ වූ ගුරුදෙගුරුන්ගෙන් අවසර පැතිය යුතුයි. අංගම් ශිල්පයේදි සටන් ශිල්පියාට කන්දේ ලන්දේ ගෙැඩල්ලේ , දිය ගොඩ, මඩ යන ඕනෑම තැනකදී සටනට මුහුණු දීමට හැකි අයුරින් සටන් පුහුණුව සිදුවේ.

ඉන්පසු ව්‍යායාම් පද්ධති ඉගෙනීම ආරම්භ වෙයි. අංගම් ශිල්පයේ මණ්ඩි නමස්කාර ක්‍රම තුනක් වේ. දෙවියන් වෙනුවෙන් දෙවියන්ගෙන් අකර්ෂණය ලබාගැනීමට මෙය සිදු කරයි. විෂ්ණු, ශිල්පයේ දී අදහන දෙවියන්, කතරගම දෙවියන්ට මෙය සිදුකරයි. සහස්‍ර, විසති, ශක්ති නමස්කාර ලෙස හඳුන්වා දියහැක. අංගම් පොර ඇල්ලිමේදී සටනක දී පහරදිම් හා පහර වළක්වා ගැනීමේදී යොදා ගන්නේය. මෙහිදී පොර ඇල්ලිමද ශක්තිවන්තයා දිනන බව සෑම අයකුටම සිතුණ ද අංගම් හි දිනුම හිමි වන්නේ බුද්ධිමතාටය. ශක්ති වනන්තයකු හෝ උපක්‍රමශිලීව පැරදිවීමට හැකි අභ්‍යාස අංගම් වල දී ශිල්පින්, ප්‍රගුණ කරන්නේය. නිල හරඹයේ දී මිනිස් ශරීරියේ ඇති නිල 107ක් ගැන අංගම් සටන් ශිල්පියාට උගන්වන්නේය. ප්‍රතිවාදීන්ට මෙල්ල කිරීමට හෝ යම් අවස්ථාවක අඩපණ කිරීම හෝ මරණය දක්වාම සටනේදී නිල භාවිතය කිරීමට හැකිය. වින කරන පුද්ගලයන් සමාජයන් තුරන් කිරීමට කෝට්ටේ රාජධානිය තුළ විශේෂයෙන් අංගම් පිටිවලදී උගන්වා තිබි ඇත. මෙම නිල ශාස්ත්‍රය ලබා දීමට පෙර ඔහුගේ ජන්ම පත්‍රය ගෙන නක්ෂත්‍රය පිහිට පතනු ඇත.එමෙන්ම මේ සටන් ශිල්පය හැදැරීමට පැමිණෙන පුද්ගලයාගේ අරමුණ හා ඉලක්කය කුමක් ද කියා වටහා ගැනීමට ඇදුරන්ට පෙර සිටම හැකියාව ඇත. ඒ, ඔවුන් භාවනා යෝගිව සිත දියුණු කර අධ්‍යාත්මික ශක්තිය නිසාය. පෙර ආත්මයේ හා බැඳි එන නියමයන් හා මෙම යෝග ශිල්පය බැඳි පවතින්නේය. මන්ත්‍ර ශාස්ත්‍රය නොමැති තැන අංගම් හරබයක් ද නොමැති බව එහි උරුමක්කරුවෝ පෙන්වා දෙති. අංගම් කලාවේ ඇති විෂ්ණු මණ්ඩල සටන ඉතාමත් සංකීර්ණ සටන් පුහුණුවක් වේ. මෙය ගුරුකුලත් ගුරුකුලට වෙනස් වේ.

අතීතයේ කතරගම මහාසෙන් නමින් රණශූරයෙක් වාසය කළ බව ඉතිහාසයේ සඳහන් ය. රණශූරත්වය මත මරණින් පසු ඔහු දේවත්වයට පත්ව කතරගම දෙවියන් නමින් ප්‍රසිද්ධ විය. පසුකාලීනව මේ කතරගම දෙවියන් අසුරයන් හා යුද්ධයකට මැදිවිය. එහිදී කතරගම දෙවියන් භාවිතා කළ යුද ක්‍රමය වුයේ අංගම්පොරයි. මේ ආකාරයට බොහෝ අතීත රණ ශුරයන් අනුගමනය කළ අංගම්පොර ශිල්පය වසර 33000 කට වැඩි අතීත කාල පරාසයන් දක්වා දිව යයි. රාවණා රජු ද රාමා සමඟ යුද්ධයේ දී අංගම් පොර ශිල්පය යොදාගත් බව ජනප්‍රවාදගතව ඇත.

කෝට්ටේ රාජධානියට පෙර ගම්පොළ රාජධානිය සමයේ අලකේෂ්වර නම් ව්‍යාපාරිකයෙක් විය. ඔහු දක්ෂ අංගම් ශිල්පියකි. අංගම් සටන් කලාව සම්බන්ධව ගම්පොළ විසූ පණ්ඩිත වරසම්බෝධි හිමි විසින් ඇම්.සි. රඝවන් මහතා දෙන ලද පැරැණි සිංහල කවියක මෙසේ සඳහන් කර ඇත. අලකේෂ්වර නම් ශිල්පියාගෙන් කෝට්ටේ රාජධානියට සපැමිණි බව ඉන් කියැවේ.

මෙසේ ශතවර්ෂ ගණනාවන් හෙළ දිව අසහාය රණශූරයෝ බිහිකළ අංගම් ශිල්පය විවිධාගමන හා කුවේණිගේ පාවාදීමෙන් අනතුරුව සී.සී. කඩව විසිර ගියහ. කෝට්ටේ සහ සිතාවක හේවාගම් කෝරළය තුළ කොරතොට රජ මහා විහාරය කේන්ද්‍රකොට ගෙන මෙම සටන් ශිල්පය රහසිගත ව පවත්වාගෙන යෑමට ඉතිරි වූ ගෝත්‍රික නායකන් සමත් වූ බව කියැවේ. මෙරට අංගම් මඩු, ඉලංගම් මඩු යෞවන යෞවනියන්ගෙන් පිරි ගිය යුගයක් තිබිණ. රෝබට් නොක්ස්, ක්වේරොස්, ජුගන් හැන්ඩර්්‍යන් වැනි විදේශීය ඉතිහාඥයන් සිය ග්‍රන්ථවල පැහැදිලිව ඒ බව සටහන් කර ඇත. සුදලිය හා මරුවල්ලියගේ සටන් අභ්‍යාස විද්‍යාල සිංහලේ අවසන් රජුගේ යුගය දක්වාම පැවැති බව මේජර් ඩේව් සිය ග්‍රන්ථයේ සඳහන් කරයි.

අංගම් පොර සටන් හදාරණ රණකාමීන් තුළ දැඩි විනයක් ද නිතීගරුක බවක් ද පවතී. අංගම් හරඹයේ ගැට පොරා නිලා නක්ෂත්‍රය, වෙදකම මන්ත්‍රශෘස්ත්‍රය යන සම්පුර්ණ විෂය කොටස් හයකින් යුක්තය. අංගම් සටන් ශිල්පයට අවතිරණ වන ආධුනික ශිල්පියකු සටන් හරඹය ආරම්භයේදීම සටනට අධිපති දෙවිවරුන් හා අඩවියට අධිපති දෙවිවරුන්ගෙන් අවසර පතා සටනට උරුම කම් කියා වියෝ වූ ගුරුදෙගුරුන්ගෙන් අවසර පැතිය යුතුයි. අංගම් ශිල්පයේදි සටන් ශිල්පියාට කන්දේ ලන්දේ ගෙැඩල්ලේ , දිය ගොඩ, මඩ යන ඕනෑම තැනකදී සටනට මුහුණු දීමට හැකි අයුරින් සටන් පුහුණුව සිදුවේ.

ඉන්පසු ව්‍යායාම් පද්ධති ඉගෙනීම ආරම්භ වෙයි. අංගම් ශිල්පයේ මණ්ඩි නමස්කාර ක්‍රම තුනක් වේ. දෙවියන් වෙනුවෙන් දෙවියන්ගෙන් අකර්ෂණය ලබාගැනීමට මෙය සිදු කරයි. විෂ්ණු, ශිල්පයේ දී අදහන දෙවියන්, කතරගම දෙවියන්ට මෙය සිදුකරයි. සහස්‍ර, විසති, ශක්ති නමස්කාර ලෙස හඳුන්වා දියහැක. අංගම් පොර ඇල්ලිමේදී සටනක දී පහරදිම් හා පහර වළක්වා ගැනීමේදී යොදා ගන්නේය. මෙහිදී පොර ඇල්ලිමද ශක්තිවන්තයා දිනන බව සෑම අයකුටම සිතුණ ද අංගම් හි දිනුම හිමි වන්නේ බුද්ධිමතාටය. ශක්ති වනන්තයකු හෝ උපක්‍රමශිලීව පැරදිවීමට හැකි අභ්‍යාස අංගම් වල දී ශිල්පින්, ප්‍රගුණ කරන්නේය. නිල හරඹයේ දී මිනිස් ශරීරියේ ඇති නිල 107ක් ගැන අංගම් සටන් ශිල්පියාට උගන්වන්නේය. ප්‍රතිවාදීන්ට මෙල්ල කිරීමට හෝ යම් අවස්ථාවක අඩපණ කිරීම හෝ මරණය දක්වාම සටනේදී නිල භාවිතය කිරීමට හැකිය. වින කරන පුද්ගලයන් සමාජයන් තුරන් කිරීමට කෝට්ටේ රාජධානිය තුළ විශේෂයෙන් අංගම් පිටිවලදී උගන්වා තිබි ඇත. මෙම නිල ශාස්ත්‍රය ලබා දීමට පෙර ඔහුගේ ජන්ම පත්‍රය ගෙන නක්ෂත්‍රය පිහිට පතනු ඇත.එමෙන්ම මේ සටන් ශිල්පය හැදැරීමට පැමිණෙන පුද්ගලයාගේ අරමුණ හා ඉලක්කය කුමක් ද කියා වටහා ගැනීමට ඇදුරන්ට පෙර සිටම හැකියාව ඇත. ඒ, ඔවුන් භාවනා යෝගිව සිත දියුණු කර අධ්‍යාත්මික ශක්තිය නිසාය. පෙර ආත්මයේ හා බැඳි එන නියමයන් හා මෙම යෝග ශිල්පය බැඳි පවතින්නේය. මන්ත්‍ර ශාස්ත්‍රය නොමැති තැන අංගම් හරබයක් ද නොමැති බව එහි උරුමක්කරුවෝ පෙන්වා දෙති. අංගම් කලාවේ ඇති විෂ්ණු මණ්ඩල සටන ඉතාමත් සංකීර්ණ සටන් පුහුණුවක් වේ. මෙය ගුරුකුලත් ගුරුකුලට වෙනස් වේ.

මඩුවන්වෙල කළු කුමාරයා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ මඩුවන්වෙල දිසාවේ

2:11:00 AM



මඩුවන්වෙල මහා දිසාවේ හැඳින්වීමට පැරැන්නන් විසින් “මඩුවන්වෙල කළු කුමාරයා” යන අන්වර්ථ නාමය යොදාගන්නා ලද්දේ ඔහුගේ පෙනුමෙහි පැවති සුවිශේෂී ස්වභාවය හේතුවෙනි. කාල වර්ණයෙන් හා තේජස් පෙනුමෙන් යුක්ත වූ මඩුවන්වෙල මහා දිසාවේගේ ජන්ම නාමය වූයේ මඩුවන්වෙල විජයසුන්දර රාළහාමිගේ ශ්‍රීමත් ජේම්ස් විලියම් මඩුවන්වෙල ය. වර්ෂ 1844 සැප්තැම්බර් මස 11 වන දින දී මඩුවෙන්වෙල වලව්වෙහි මෙලොව එළිය දුටු මඩුවන්වෙල මහ දිසාවේ සිය ජීවන ගමන අවසාන කරන්නේ ද තමා ජන්මය ලද ස්ථානයෙහිදීම ය. ඒ වසර අසූ පහක් ආයු වළඳා අවසන වර්ෂ 1930 සැප්තැම්බර් මස 06 වනදා යි. මඩුවන්වෙල මහ දිසාවේ සුවිශේෂී පුද්ගලයෙකු වන්නේ ඔහු පැතිරවූ බල පරාක්‍රමය හේතුවෙනි. ඉංග්‍රීසීන් කෙරෙහි ප්‍රසාදයක් නොතිබුණ බව පැවසුන ද ඔහු ඉංග්‍රීසි පාලන ව්‍යුහය තුළ විවිධ නිලතල දරමින් සිය රාජකාරීන් ඉටුකළේ ය.


මඩුවන්වෙල මහ මොහොට්ටාල විසින් ලන්දේසි මං පහරන්නෙකු වූ ඔතලයාගේ හිස රාජ අණක් පරිදි කන්ද උඩරට රජුට භාරදීම හරහා මඩුවන්වෙල පරපුරට ලැබුණු මඩුවන්වෙල නින්දගම, තවදුරටත් විධිමත්ව පාලනය කරගෙනයාමට ප්‍රාදේශීය පාලකයෙකුටත් වඩා බලවත් වූ මඩුවන්වෙල මහ දිසාවේට හැකි විය. මඩුවන්වෙල නින්දගමේ සංකේතය ගෝන හිස ලෙස සැලකේ. ඊට හේතුව මඩුවන්වෙල පරපුර විසින් කන්ද උඩරට රජුගේ අණ පරිදි සුදු ගෝනෙකු අල්ලා දී දෙවන වරටත් නින්දගමක් ඈඳාගත් බැවිනි. මඩුවන්වෙල දිසාවේගේ මව්පියන් ඔහු කුඩා කාලයේදීම මියගිය හෙයින් දිසාවේ ඇතිදැඩි වූයේ බලංගොඩ විසූ සිය පියාගේ මවගේ සෙවනෙහි ය. ඉගෙනීමට මහත් සමත්කමක් දැක්වූ දිසාවේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව උගත්තේ ය.

කතෝලික පාසල් සෙවනෙහි අධ්‍යාපනය හැදෑරූ නමුත් ඔහු භක්තිමත් බෞද්ධයෙකු වූ අතර උපන් ගමට මහත් සේ ආදරය දැක්වූ පුද්ගලයෙකු විය. මහත්මා ගාන්ධිගේ ගමන්මඟ මහත් සේ අගය කළ පුද්ගලයෙකු ලෙස මඩුවන්වෙල දිසාවේ සැලකේ. මඩුවන්වෙල පරපුර විසින් මඩුවන්වෙල මුදලින්දාරාමය ඉදිකර අක්කර 50ක භූමි භාගයක් සන්නසක් මඟින් එකී විහාරයට පූජා කරනු ලැබූ අතර, පනාමුර කාවන්තිස්ස රජමහා විහාරය ප්‍රතිසංස්කරණය කරමින් බෞද්ධාගමෙහි පුනර්ජීවනය උදෙසා ද කටයුතු කරන ලද බව පැවසේ. සිය පරපුරෙහි පූර්වකාලීනයන්ගේ මැදිහත්වීම මත පෝෂණය වූ මෙකී ආගමික සිද්ධස්ථාන නඩත්තු කිරීම සහ පවත්වාගෙන යාම උදෙසා පසුකාලීනව පහළ වූ මඩුවන්වෙල මහ දිසාවේ ද කැප වූ බව සඳහන් ය.


මඩුවන්වෙල වලව්වේ සඳකඩ පහන
පරිපාලනයේ දක්ෂතා හේතුවෙන්ම ඉංග්‍රීසි පාලනය තුළ ඉංග්‍රීසි අධිරාජ්‍යයේ ආදායම් නිලධාරියා ලෙස මඩුවන්වෙල දිසාවේව පත්කරන ලදී. තව ද ඉංග්‍රීසි ආණ්ඩුව විසින් ඔහුව නඩු අසන්නෙකු ලෙස ද පත්කර තිබුණි. සිය වලව්වෙහි ඉදිකරන ලද අධිකරණ ශාලාව තුළ දී ඔහු විසින් නඩු විභාග කිරීමේ අධිකරණ කටයුතු සිදු කරන ලදී. ඇතැම් අවස්ථාවන්හි දී ප්‍රමාද වී වැඩ කරන ඉංග්‍රීසි ඒජන්තවරයන්ට පවා දිසාවේ විසින් දඬුවම් පමුණුවා ඇත. එමෙන්ම කිසිදු ගරුසරුවක් නොමැතිව තමාව අශ්ව කෝච්චියෙන් නෙරපීමට කථිකා කළ ඉංග්‍රීසි තරුණයන් දෙදෙනෙකුව එළියට ඇද දමා තනිවම තම ගමන යාමට තරම් ඔහු තේජවන්තයෙකු වූ බව කියැවේ. වර්තමාන දෙනියාය, රක්වාන මාර්ගය කොලොන්න මඩුවන්වෙල හරහා කැපීමට ඉංග්‍රීසීන් විසින් යෝජනා කරන ලද අතර මඩුවන්වෙල දිසාවේ ඊට තදින්ම විරුද්ධ විය. ඔහුගේ විරුද්ධත්වය අබිබවා යාමට ඉංග්‍රීසි පාලකයන්ට ද ‍නොහැකි විය.

විවිධ අවස්ථාවන්හි එවන් අර්බුදකාරී තත්ත්වයන් ඇති වූ නමුදු, තම වලව්වට පැමිණෙන ඉංග්‍රීසීන්ට සිංහල ක්‍රමයට අනුව මනා ලෙස සැලකිලි සත්කාර දැක්වීමට තරම් මඩුවන්වෙල දිසාවේ වැදගතෙකු විය. මඩුවන්වෙල ප්‍රදේශය පැවතියේ කන්ද උඩරට සහ පහතරට අතර කලාපයෙහි වන අතර වර්ෂ 1815න් පසුව ඉංග්‍රීසීන් විසින් සිය බල පරාක්‍රමය දිවයින පුරා පතුරවන තෙක්ම, හැකි සෑම අවස්ථාවකම උඩරට රජුට අවනත වෙමින් උඩරට අණපනත් ක්‍රියාවට නැංවීමට මඩුවන්වෙල දිසාවේ පරපුරෙහි පූර්වගාමීන් බැඳී සිටියහ. මඩුවන්වෙල දිසාවේ ද ඉංග්‍රීසි ආණ්ඩුවෙහි නිලධරයෙකු වූ නමුදු, හැකි සෑම අවස්ථාවකම සිංහල ක්‍රමයට අනුගතව කටයුතු කිරීමට උත්සාහ කළේය.

උදෑසනම අවදිවෙමින් වලව්වේ කටයුතු ආරම්භ කිරීමට පුරුදු වී සිටි මඩුවන්වෙල දිසාවේ අතිශය ශක්තිමත් පුද්ගලයෙකු විය. ඇත්, අස්, රිය සේනාව සිටිය දී පවා පයින් ගමන් කිරීමට ඔහු මහත් අභිරුචියක් දැක්වූවේය. දිසාවේට ආයුධ සන්නද්ධ සේවක බලඇණියක් සිටි අතර ඉංග්‍රීසීන් ඔහු සමග කිසිදු ආරවුලක් ඇති කර නොගැනීමට එය ද හේතුවක් විය. මඩුවන්වෙල දිසාවේ සිය පාලන කලාපය තුළ සිටි සියලු වැසියන්ට එක සේ සලකන ලදී. සියලු ජාතික උත්සව ඉතා ඉහළින් සැමරූ ඔහු සිංහල අලුත් අවුරුද්ද වැනි දිනයන්හි දී සියලු ගම්වාසීන්ට තෑගිභෝග පිරිනැමීමට තරම් කාරුණික හා ත්‍යාගශීලී වූයේ ලු.


මඩුවන්වෙල දිසාවේගේ දෙවන භාර්යාව වූ කලවානේ කුමාරිහාමි 
පළමු භාර්යාවගේ අභාවයෙන් පසුව දියණිය සමග හුදෙකලා වූ දිසාවේ නැවත වරක් විවාහ විය. තම දියණියට රුචි කාන්තාවකට මල් මාලය පළඳවා මෙකී පිළිගැනීම සිදුකර ඇත. මෙසේ දෙවන වරට විවාහ කරගත් මඩුවන්වෙල කුමාරිහාමි මහත් භක්තියෙන් යුතුව සිය යුතුකම් සහ වගකීම් ස්වාමියාත් දරුවාත් කෙරෙහි ඉටු කළ බව කියැවේ.

කෙසේ නමුදු සිය ජීවිතයේ අවසාන භාගයෙහිදී දැඩි ලෙස රෝගාතුර වූ දිසාවේ ශල්‍යකර්මයකට පවා මුහුණ දුන්නේ ය. දොස්තර ආර්. එල්. ස්පිටල් විසින් මඩුවන්වෙල දිසාවේගේ පාදයේ ශල්‍යකර්මයක් සිදු කළ අතර නිර්වින්දනය වීමකින් තොරවම එකී ශල්‍යකර්මයෙහි වේදනාව දරාගැනීමට මඩුවන්වෙල දිසාවේ සමත් වූ බව කියැවේ. ශල්‍යකර්මයෙන් මසකට පසුව රෝගාතුරව වාසය කළ දිසාවේ දිනෙක අසාධ්‍ය තත්වයට පත් වූ අතර ඒ බව වටහාගත් ඔහුගේ විශ්වාසවන්තම සේවකයා වූ ජුවානිස් වහාම මුදලින්දාරාමයට දිව ගොස් මේ බව සබරගමු පළාතේ ද්විතීයික සංඝනායක පදවිය දැරූ ශ්‍රී සාරානන්ද හිමියන්ට සැල කළේය. උන්වහන්සේ පැමිණ බණ දේශනා කිරීමෙන් අනතුරුව දිසාවේ විසින් උන්වහන්සේට පූජා භාණ්ඩ පූජා කිරීම ද සිදුකරන ලදී. ඉන් අනතුරුව උන්වහන්සේ විසින් පිරිත් දේශනා කරමින් සිටිය දී දෑත් බැඳගෙනම ජුවානිස්ගේ උකුළ මතට පතිත වන මඩුවන්වෙල දිසාවේ සිය ශරීරය නමැති නවාතැන අතහැර සිය සුසුම් පොද නිසල වාතලයට මුසු කරයි.


මඩුවන්වෙල වලව්ව විචිත්‍ර අයුරින් පවත්වා ගත් දිසාවේ 
ඔහුගේ මරණයෙන් ඉනික්බිති වර්ෂ 1962 දී ඔහුගේ දියණිය වූ මඩුවන්වෙල පුංචි කුමාරිහාමි ද මිය යන අතර, අනතුරුව මඩුවන්වෙල වලව්වේ හිමිකාරීත්වය ලංකාවේ ප්‍රථම කථානායක වූ ප්‍රැන්සිස් මොලමුරේ විසින් හිමිකරගන්නා ලද්දේ ය.  
blogspot.okkomaa.com. Powered by Blogger.